මාතෘකා වර්ගීකරණය:
There was an error in this gadget
නවතම ලිපි

සිය දිවි නසා ගැනීම - ඉස්ලාමිය විසඳුම්



මානව ඉතිහාසයේ සිය දිවි නසා ගැනීම නොහොත් ආත්ම ඝාතනය ගැන ඕනෑ තරම් ලියැ වී තිබේ. පැරණි රෝම සහ ග්‍රීක ශිෂ්ටාචාරයන් හී ද මෙම විෂය ගැන නොයෙකුත් සාකච්ඡා පවත්වා ඇත. යුදෙව් සහ ක්‍රිස්තු දහමේ ද හින්දු පෞරාණික ග්‍රන්ථයන් හි ද මේ ගැන සඳහන් වී තිබේ. පැරණි ජපන් ශිෂ්ටාචාරයේ සහ ආසියානු සංස්කෘතියේ අසිපතින් පොදු ස්ථානයක කුස කපා සිය දිවි ගැනීමේ හරාකිරි නම් ක්‍රියාව පිළිබඳව බහුලව සඳහන් වී තිබේ. මෙය බටහිර ශිෂ්ටාචාරයට පමණක් සීමා වූ එකක් නොව, මුස්ලිම් ජනයා බහුතරව ජීවත් වන ඇතැම් දේශයන් හී පවා දක්නට තිබේ.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පවා සිය දිවි නසා ගැනීමේ සිද්ධි සාමාන්‍යයෙන් දිනකට 15 ක් පමණ සිදුවන බව පොලිස් වාර්ථා සඳහන් කරයි.

එහෙත් ඉස්ලාම් මෙම ක්‍රියාව පැහැදිලිව තහනම් කර ඇති බව කවුරුත් දන්නා කරුණකි. අල් කුර්ආනයේ ආත්ම ඝාතනයට තහනම් පනවා ඇත්තේ මෙසේය.

“ඔබ අතර කොටා මරා නොගනිවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කෙරෙහි දයාලුය.“4/29

“තොපගේ අතින් තොපි විනාශයට නොවැටෙවු.“ 2/195

මිනිස් ජීවිතය ඉතාමත් පවිත්‍ර එකක් බව අල් කුර්ආනය පැහැදිලිව පවසයි. ඉස්ලාමිය ප්‍රතිපත්තියේ ජීවත් වීමේ අයිතිය අන්තර්ගත වී තිබෙන අතර යුක්ති සහගත හේතුවක් නොමැතිව මිනිස් ජීවිතයක් විනාශ කළ නොහැක. අපේ ජීවිතය අපේ මැවුම්කරුගෙන් අපහට ලැබු තෑග්ගකි. එය රැක බලා ගැනීම අපේම යුතුකමකි. අල්ලාහ්ගේ දයාව පිළිබඳව සිත් කලකිරීමට ලක් වීමේ හේතුවෙන් හෝ ලෞකික ප්‍රශ්න හේතුවෙන් හෝ සිය දිවි විනාශ කර ගැනීම ඉස්ලාම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ අවවාද කළහ.

“කිසිවෙක් යම් දෙයකින් ආත්ම ඝාතනය කර ගත්තේද, එ මගින්ම ඔහු යළි නැගිටුවනු ලබන දිනයේ දඬුවම් දෙනු ලබන්නේය.“ සහීහ් බුහාරි සහ මුස්ලිම් වාර්තා කරති.

“එය මහත් පාපයක් වන අතර, ඒ සඳහා දණ්ඩනය අල්ලාහ්ගේ මනාප පරිදිය. ඔහු කැමති නම්, ඔහු එය සඳහා සමාව දෙන්නේය. ඔහු කැමති නම් දඬුවම් දෙන්නේය.“ යනුවෙන් තවත් හදීසයක් පවසයි. මෙම වදන, පිළිගත් ආගමික විද්වතුන් විසින් තහවුරු කරන ලදී.

ජීවිතය යනු කෙළවර නොමැතිව මුහුදු රැලි මෙන් දිගින් දිගට පිළිවෙළින් පැමිණෙන මොහොතවේ. එහි කෙළවර දෙකේ අප සිත කුල්මත් කරන ඉතා ප්‍රීතිමත් මොහොතද අප ශෝකයට, දොම්නසට හෝ සිත්තැවිල්ලට පවා පත් කරන අඳුරු අවස්ථාවන්ද අඩංගු වී ඇත. ප්‍රීතිය සහ එයට විරුද්ධ වන ශෝකය මිනිස් ජීවිතයේ නියමය වේ. කෙසේ වෙතත්, මෙවැනි අවස්ථාවන් හි අපේ චිත්තවේගය පාලනය කර ගත නොහැකි වන විට, අප සිත්තැවිල්ලට පත් වෙමු. අපගේ සියලු බලාපොරොත්තු හා ආශාවන් අතුරුදන් වූ විට අප ලක් වන මානසික තත්ත්වය සිත්තැවිල්ල වන අතර, එය මහත් අනතුරුදායක එකකි. සිත්තැවිල්ලට ලක් නොවන ලෙස, විශේෂයෙන් අල්ලාහ්ගේ කරුණාව පිළිබඳව සිත්තැවිල්ලට පත් නොවන ලෙස අල්ලාහ් අපට පවසයි.

මෙලොව අප මුහුණ දෙන පෙලඹ වීම සහ පරීක්ෂාව මැද අල්ලාහ් අපව අතරමං කර හෝ අමතක කර හෝ නැත. ඔහු සදා කාරුණිකය; අපව බලසම්පන්න ආයුධ මගින් ශක්තිමත් කර ඇත. අති කාරුණික අල්ලාහ්, අපහට පැහැදිලි මාර්ග සපයා කරුණු දෙකක් ගැන පොරොන්දු වෙයි. අපි ඔහුට පමණක් නැමදුම් කර, ඔහුගේ මාර්ගය අනුගමනය කළහොත්, ඔහු අපහට ස්වර්ගය පිරිනමන බවද, සෑම පිඩාවකින් පසුව පහසුතාවය දකින බවද පොරොන්දු වෙයි.

“විශ්වාස කර යහ දැය කළ අයද - එහි යටින් ගලා බසින ගංගාවන් ඇති ජන්නාවෙහි අපි ඔවුන් ඇතුළු කරන්නෙමු. ඔවුහු සදාකල් එහි වෙසෙති. (මෙය) අල්ලාහ්ගේ සත්‍ය ප්‍රතිඥාවය. අල්ලාහ්ට වඩා සත්‍යය පවසන්නේ කවරෙක්ද? (කිසිවෙකු නැත)“ අල් කුර්ආන් 4:122

“සැබැවින්ම දුෂ්කරකම සමඟ සහනය ඇත්තේය. ඇත්තෙන්ම දුෂ්කරකම සමඟ සුලබ බව ඇත්තේය.“ අල් කුර්ආන් 94:4, 5

“මගේ දුකද මගේ ශෝකයද එළිදරව් කරන්නේ අල්ලාහ්ටමය. තොප නොදන්නා දැය මම අල්ලාහ්ගෙන් දනිමි යි ඔහු කීවේය.“ අල් කුර්ආන් 12:86

“මුස්ලිම්වරයෙකුගේ කිසිදු අවාසනාවක් හෝ අසනීපයක් හෝ සිත්තැවිල්ලක් හෝ දුකක් හෝ හානියක් හෝ කටුවක් ඇනෙන පිඩාවක් වුවද (සිදුවන්නේ) නැත - ඒවා හේතු කොටගෙන අල්ලාහ් ඔහුගේ ඇතැම් පාපයන් සඳහා සමාව දෙන්නේය.“ යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසුහ. වාර්තා කළේ සහීහ් අල් බුහාරි. ඉස්ලාම් දහමේ මූලික අරමුණ අල්ලාහ් සමඟ මිනිසා ස්ථීර සම්බන්ධකම පැවැත්වීම සඳහා පොළඹවීමයි.

මිනිසුන් විසින් සිදු කරන ඉතා බරපතළ වරද ඔවුන්ගේ ලෞකික ජීවිතයෙන් ඔවුන්ගේ ධාර්මික ජිවිතය වෙන් කිරීම තැබීමවේ.

පීඩා සහිත අවස්ථාවන් හි මිනිසුන්ව දොම්නසට පත් වීමට සහ අල්ලාහ් සමඟ ඔහුගේ සම්බන්ධකම අහෝසි වු බවට සිතීමට කෙනෙක්ව පත් කරන්නේ චිත්තවේගී හැඟීම්, මුදල් පිළිබඳ අසහනය, මත් ද්‍රව්‍ය භාවිතය හෝ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න වැනි ලෞකික ජීවිතය සම්බන්ධ කරුණු වේ.

විශේෂයෙන්ම, හුදකලා වීම හෝ තම සමීපතම ඥාතීන් හා මිතුරන් වැනි අයගෙන් වෙන් වීම, මෙම නව ශත වර්ෂයේදී බොහෝ දෙනෙක් ජීවිතයේ කලකිරීමට භාජන වීමට හේතුවේ.

අප සිටිනා තත්ත්වය පිළිබඳව අල්ලාහ් සම්පූර්ණ අවබෝධ යෙන් සිටින අතර, ඒ ප්‍රශ්නයන්ට මුහුණ දෙන්නට ඔහු අපට ඕනෑ තරම් මාර්ග සපයා ඇත. ඒවා නම් ඉවසීම, කෘතගුණය, අල්ලාහ් කෙරෙහි විශ්වාසය යනු එහි කරුණු කිහිපයකි. කෙසේ වෙතත්, දොම්නස හේතු කොට ගෙන ජීවිත හානි සිදු කිරීමට පවා කෙනෙක් අදහස් කරන්නේ නම් ඒ ගැන වැඩි අවදානය යොමු කිරීම අවශ්‍යවනු ඇත. මෙහිදී අපි මතකයේ තබා ගත යුතු කරුණක් නම්, අල්ලාහ් ඉමහත් අනුකම්පා සහිත බවද, අපි කුමන තත්ත්වයක සිටියත් ඔහු අපට උදව් කිරීමට නිතරම සූදානම්ව සිටින බවය.

අසීමිත කරුණාව, දයාව, ත්‍යාගශීලි සහිත අල්ලාහ්, අප තුළද මෙවැනි ගුණාංගයන් වර්ධනය කරන ලෙස අණ කර ඇති අතර, මිනිසුන් එකිනෙකා අතර ගෞරවයෙන් සහ සාධාරණව සැලකිලි දැක්විය යුතු බවද දන්වයි. ප්‍රශ්න සහ පීඩාව සහිත කිසිවෙක් සමාජයේ තනිවම දුක් විඳීමට ඉඩ නොතිබීමද මෙහි පියවරකි.

සුළු වශයෙන් හෝ සහය සහ සැලකිලි දැක්විම තුළින් කෙනෙක් සිය දිවි නසා ගැනීම වන මහා පාපයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇත. අපි එකිනෙකාට සමච්චල් කිරීම, නිග්‍රහ කිරීම, අපහාස කිරීම, බැණ වැදීම යන දේ නොකරන ලෙස, අල්ලාහ් අපට අණ කරයි.

“විශ්වාස කරන අයවලුනි! පිරිමින්ගෙන් ඇතැමෙක් ඇතැමකුට සරදම් නොකළ යුතුය. මොවුහු ඔවුන්ට වඩා යහපත් වන්නට පුළුවන. ස්ත්‍රීහු ද ඇතැමෙක් ඇතැමකුට සරදම් නොකළ යුතුය. මොවුහු ඔවුනට වඩා යහපත් වන්නට පුළුවන. ඔබ තමන් අතර අපහාස නොකළ යුතුය. විකට නමින් බැණුම්ද නොකළ යුතුය. විශ්වාසයෙන් පසු නපුරු නාමය නරකය. යම් කෙනෙක් පසුතැවිලි වී නොහැරෙන්ද, ඒ අයමය වරද කරන්නේ.“ අල් කුර්ආන් 49:11.

අන් අයට අසාධාරණ කිරීම හෝ පීඩා කිරීම වැනි පාපයන්හි නිරත වන ජනයාට අල්ලාහ් දඬුවම් දෙන බව අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණෝ පවසා ඇත්තාහ.

“ඔබගෙන් යමෙක් වරද කෙරේද අපි මහත් වූ දඬුවමක් ඔහුට අගු බලවන්නෙමු.“ අල් කුර්ආන් 25:19

“මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම්වරයෙකුගේ සොයුරෙක් වේ. එනිසා, ඔහු තම සොයුරාට පීඩා හෝ පිඩා කරන්නෙකුට ඔහුව භාර කිරීම හෝ නොකළ යුතුයි. ඔහුගේ සොයුරෙකුගේ අවශ්‍යතාව ඉටු කරන්නේ කවරෙකුද ඔහුගේ අවශ්‍යතාව අල්ලාහ් සම්පූර්ණ කර දෙයි. ඔහුගේ සොයුරෙකුගේ අපහසුතාව කවරෙකු ඉවත් කරන්නේද, ලෝකාන්ත දිනයේ ඔහුගේ අපහසුතා අල්ලාහ් ඉවත් කරන්නේය. මුස්ලිම්වරයෙකුගේ (පාපය) කවරෙකු ආවරණය කරයිද, අල්ලාහ් ඔහුව ලෝකාන්ත දිනයේ ආවරණය කරන්නේය.“ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් අල් බුහාරි.

එ හෙයින්, අන් අයට යහපත් සැලකිලි දැක්වීමෙන් ප්‍රතිලාභයක් තිබෙන බව නිසැක යැයිද, විශේෂයෙන් මිත්‍රයන් හෝ පවුලේ සාමාජිකයන් අසාධාරණ හා අකාරුණික සැලකිල්ලට ලක් වන අවස්ථාවන් හි ඔවුන්ට සැලකිලි දැක්වීමෙන් යහපත් ප්‍රතිඵලයක් අපහටද ලැබෙනු ඇත. සමාජයේ අසාධාරණ වාතාවරණට හසු වී එයින් බැට කා දොම්නසට පත්ව ජීවිතය හුදකලාවේ ගෙවන කෙනෙකු ගේ තත්ත්වය ගැන කුමක් පවසන්නද? පරාජිත සිතුවිලි නිසා පීඩාවට පත්ව සිය දිවි නසා ගැනීමේ ප්‍රපාතයට සමීපව සිටින කෙනෙකු යළි ආරක්ෂිත ස්ථානයට ගෙන එන්නේ කෙසේද?

මෙය නොයෙක් ආකාරයෙන් සිදු කළ හැකි වේ.

Ø පළමුව අල්ලාහ් සමඟ ඔහුගේ සම්බන්ධකම තර කිරීම. අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව අධික ලෙස සිහි කිරීම, අධිකව දුආ ප්‍රාර්ථනා කිරීම වැනි ක්‍රියා මාර්ගයන් මගින් ස්ථීර භූමිකාවක් ඔහු තුළ ගොඩ නැගිය හැකි වේ.

Ø සාතාන්ගේ ක්‍රියා මාර්ගය ගැන අවබෝධ කර ගැනීම මෙහි වැදගත් කරුණකි. සාතාන් දිළිඳුකම සහ අසරණ තත්ත්වය පෙන්වා කෙනෙකුව බියට පත් කරයි. සතාන් පෙන්වන්නේ සැබෑවක් නොවේ. අල්ලාහ්ගේ අසීමිත කරුණාව සියලු දේ අභිභවණය කරයි. එනිසා ජිවිතයේ අඳුරු මොහොතේ පවා අල්ලාහ්ට සහ ඉස්ලාමයට ඇලී ගැලී සිටිය යුතුයි. මෙහි සඳහන් කරුණු වලට අමතරව අල්ලාහ් මුහම්මද් නබි (සල්) තුමාණන්ව සියලු ජනයාට සියලු ලොවට මෛත්‍රියක් වශයෙන් පහළ කරන ලදී. එතුමාණන්ව අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් සිත්තැවිල්ලට පත් වූ කෙනෙක් සිත් සහනයට පත්ව අල්ලාහ්ට සමීප වෙයි.

අල්ලාහ් සියලු දේ පාලනය කරන බවද, අපි සියලු දෙනාටම ස්වර්ගයේ වාසස්ථාන ලබා දීම ඔහුගේ අභිලාශය බවද අප මතකයේ තබා ගන්නේ නම්, අපේ දුක දොම්නස සියල්ල ඉවත දමන්නට අපට හැක. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය සහිතව අපි බිය හෝ සැක උපදවන ඕනෑම කරුණු වලට මුහුණ දෙන්නටද අප සියලු අවස්ථාවන්හි ඉවසීම සහ කෘතඥතාව සහිතව පියවර තබන්නටද පුහුණු වුයේ නම්, අපගේ සිත් සැහැල්ලු වන අතර දුක හා සැක අපෙන් තුරන් වනු ඇත.

මෙවැනි පුද්ගලයින් පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ.

“විශ්වාසවන්තයෙකුගේ කාර්ය කෙතරම් මවිතයට පත් කරන්නේද? ඒවා සියල්ල ඔහුගේ ශුභ සිද්ධියටයි. ඔහුට පහසුකම් දෙනු ලැබුවේ නම් ඔහු එයට කෘතවේදී වෙයි. එය ඔහුට යහපතකි. ඔහු පීඩාවට පත් වුයේ නම්, ඔහු දැඩි වීර්ය යොදා කටයුතු කරයි. එයද ඔහුට යහපතකි.“ මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.



මේ කරුණු අපි සියලු දෙනාම සිතේ තබා ගෙන ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීමට අල්ලාහ්ගේ සම්පූර්ණ ආරක්ෂාව යටතේ සූදානම්ව සිටිය යුතුයි. ආමින්.




ජාසිම් ඉබ්න් දඉයාන්

අල් - කුර්ආනය යනු කුමක්ද?


අල්කුර් ආනය සම්පූර්ණ ජීවන සැලැස්මකි. මෙහි පරිච්ඡේද 114 ක් වේ. වාක්‍ය 6666 කි. අල්කුර් ආනය කලාප 30 කට බෙදා තිබේ.

අල්ලාහ් නආලා සහ මිනිසා අතර ඇති බැඳීම, මිනිසුන් එකිනෙක අතර බැඳීම, නීතිරීති යනාදිය සමඟ ජීවිතයට අවශ්‍ය සියලු අංග කුර්ආනයේ සඳහන් වේ. අල්ලාහ් දෙවියන් සහ නබිවරුන් පිළිබඳ දැනුමද මලාඉකාවරුන් (දේවදූතයින්) සහ අවසාන දිනය පිළිබඳ විවරණ ද ස්වර්ගය සහ අපාය පිළිබඳව කරුණු ද අල්කුර්ආනයේ පැහැදිලිව දැක්වේ.

මිනිසුන් විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත් ද අල්ලාහ් තුආලාගේ ප්‍රකාශන සහ අවවාද එහි අන්තර්ගතය. මුහම්මද් නබිතුමාට අල්කුර්ආනයේ පළමු වාක්‍ය පහළ වූයේ මක්කාවේ පිහිටි ‘හිරා’ නම් වූ ගුහාවේදීය. එතුමාගේ අවසාන හජ් යාත්‍රාවේදී එනම් හිජ්රි දස වැන්නේ දී කුර්ආනයේ අවසාන වාක්‍ය පහළ විය. කුර්ආනය සම්පූර්ණයෙන්ම පහළවීමට අවුරුදු 23 ක් ගතවිය. එය උස්මාන් (රලි) තුමාගේ පාලන සමයේ දී ලේඛනාරූඪ කොට බෙදාහරින ලදි.

මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා



මුහම්මද් නබිතුමාණෝ කිසිවකු මුණගැසීමට ගිය කළ, පිටත සිටම ‘සලාම්’ කියමින් නිවසට පිවිසීමට අවසර පැතූහ. එය රාත්‍රී කාලයක් වූ කලෙක, නිවැසියා අවදිව සිටීනම් ඔහුට ඇසෙන පරිදි ද ඔහු නින්දෙහි පසුවූවා නම් ඔහුට බාධාවක් නොවන පරිදි ද පිටත සිටම සලාම් කීහ. ඊට ප්‍රතිචාරයක් නොබුණේ නම් නිවැසියන්ට කිසිදු බාධාවක් නොකොට එතුමාණෝ ආපසු ගියහ.

යම්කිසිවෙකු එතුමාගේ් ඇඳුම් මත රැඳුණු දුහුවිල්ලක් හෝ පරඬැලක් ඉවත් කළේ නම් එතුමාණෝ ඔහුට ස්තුති කොට “ඔබ නොරිසි සියල්ලන්ගෙන්ම ඔබව ඉවත්කර තැබීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා” යි ප්‍රාර්ථනා කළහ.

එතුමාණෝ තෑගිබෝග භාර ගත්හ. පෙරළා ඔවුනට ද තෑගි බෝග දුන්හ. තමන් නිසා අන් කිසිවකුට යම්කිසි හිරිහැරයක්, කරදරයක් වූවා නම් ඒ සඳහා තමන්ට දඬුවම් පමුණුවීමට, කරදරයට පත් අයට අවස්ථාව සලසා දුන්හ. නො එසේනම් අදාල අයට ත්‍යාගයක්, පඬුරක් යැවූහ.

කිසිවකු අළුත් ඇඳුමක් හැඳ තමන් හමුවට පැමිණියේ නම් “කදිමය කදිමය මෙය ගෙවනතුරුම පළඳින්නැ”යි උපදෙස් දුන්හ.

අනුන් තමන්ට කළ අතවරයක් වෙනුවෙන් පළිනොගත්හ. ඒ වෙනුවට අතවර කළවුන්ට සමාව දුන්හ.

ගිලනුන් බැලීමට යාමට එතුමාණෝ විශේෂයෙන් ප්‍රිය කළහ. රෝගියා අසළටම වී හිඳගෙන, තොරතුරු විමසමින්, ඔහු ඉල්ලා සිටින යම් ආහාරයක් වේ නම් එය ලබාදීමට කටයුතු කළහ. එතුමාණෝ රෝගියාගේ පිටට අත තබා “ඉන්ෂාහ් අල්ලාහ්, ඔබට ඉක්මනින් සනීප වේවි” යි අස්වැසූහ.

මළගම්වලට නොවරදවාම සහභාගි වීම එතුමාණෝගේ සිරිත විය. මළගමට සහභාගි වෙමින් ශෝකයට පත් නෑ හිතවතුන් අස්වැසීමට එතුමාගේ යුහුසුළු වූහ. එහෙත් සෙසු අයට විලාප නැගීමට ඉඩ නුදුන්හ. මෘතදේහවලට පිරිසිදු සුදු පැහැති ඇඳුම් අන්ඳවන ලෙස එතුමාණෝ බල කර සිටියහ. තමන් අසළින් අවමඟුල් පෙරහැරක් ගමන් කරන කළ, මළගිය අය ඉස්ලාම් භක්තිකයන් නොවූවත් නැගිට ගෞරව දැක්වීම එතුමාගේ සිරිත විය.

මුහම්මද් නබිතුමාණෝ විශේෂයෙන් දරුවන්ට ප්‍රිය කළහ. “දරුවන් අල්ලාහ් ගේ උද්‍යානයේ පුෂ්පයන්ය” යි හැඳින් වූහ. ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරයේ අනාගත නායකයන් යැයි ද පැවසූහ.

කිසිවකු බිළිඳකු ගෙනෙනු ලැබූ කල එතුමාණෝ බිළිඳා වඩා උකුලෙහි තබාගත්හ. පළතුරු වාරයේදී මුල්ම පළතුරු නෙලාගත් විට එය දරුවන්ට පිළිගැන්වීම එතුමාගේ සිරිතය. බොහෝවිට එතුමාණෝ දරුවන් සමඟ ක්‍රීඩා කළහ.

සෙස්සන්ට එතුමාණෝ සැළකූ අන්දම හසරත් අනස් තුමන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.

“මම රසුලුල්ලාහ් (සල්) තුමා සමඟ වසර දහයක්ම ගත කළෙමි. එතුමා කිසිවිටෙක මා පහත් කොට තැකුවේ නැත. මා කළ දෙයක්, කිසි විටෙක විවේචනය නොකළහ. මා යම්කිසි කාර්යයක් කිරීමට අතපසු කළ විට කේන්ති නොගත්හ. එතුමා සේවකයන්ටත්. තමන්ගෙන් යැපෙන්නන්ටත් එක හා සමානව සැළකූහ.

දික්කසාදය හා ඉස්ලාම් නීතියේ කාන්තා අයිතිවාසිකම්



ඉස්ලාමය තුළ විවාහය සම්බන්ධව මෙන්ම දික් කසාදය සම්බන්ධයෙන්ද ඉතා සාධාරණ ලෙස කාන්තා පාර්ශවයට යුක්තිය ඉටුකර තිබෙන සැටි අවබෝධ කර ගැනීමට පසුගිය සතියේ පළ වූ දික්කසාදය හා ඉස්ලාමි නීතිය පළමු ලිපිය මෙන්ම අද ලියැවෙන මේ ලිපියද වැදගත් පිටිවහලක් වනු නිසැකය.

සත්‍ය වශයෙන්ම ඉස්ලාමය තුළ කාන්තා භූමිකාව සම්බන්ධයෙන් ඇති තතු නොදැන වැරැදි මතයක පිහිටා සිටින අන්‍ය ආගමික ප්‍රජාව මෙවැනි ලිපි මගින් කාන්තාවට ඉස්ලාමය තුළ ලබා දී තිබෙන වැදගත්කම අවබෝධ කරගනු ඇත.

යම්කිසි ඉස්ලාම් භක්තියකුට සිය බිරිය දික්කසාද කිරීමට හේතු කෙතරම් තිබුණ ද ඉස්ලාමීය නීතියට අනුකූ®ල නොවන කිසිදු හේතුවක් මත ඇයව දික්කසාද කිරීමට ඔහුට නොහැකිය.

එමෙන්ම යම්කිසි ස්ත්‍රීයකට සිය සැමියා දික්කසාද කිරීම සම්බන්ධව ඉතා වැදගත් කරුණක් ඉස්ලාමය තුළ පැහැදිලිව සඳහන් වේ.

එනම් සුව කළ නොහැකි ලාදුරු රෝගය , උමතුභාවය සංසර්ගයට බාධාවන ආකාරයේ ශාරීරික හා ලිංගික දුබලතා වැනි බරපතල හේතූන් මත සිය සැමියාගෙන් දික්කසාද වීමේ අයිතිය ස්ත්‍රීන් සතුය. මෙවැනි දික්කසාද ඉස්ලාම් නීති ශාස්ත්‍රයේ ‘’ෆස්හ්’’ නමින් හැඳින්වේ.

නමුත් උමතු රෝගය දික්කසාද වීමට තරම් ප්‍රබල හේතුවක් ලෙස ජර්මනිය, ස්විට්සර්ලන්තයේ වැනි රටවල පිළිගනු නොලැබේ. එමෙන්ම බරපතළ රෝගී සැමියාගෙන් දික්කසාද වීම නොව ඔහු රැක බලාගත යුතුය යන්න ප්‍රංශ නිතියෙන් ඉගැන්වේ. එවැනි මානව හිතවාදි හා සෙනෙහස සපිරුණු කරුණු කාරණා තිබුණ ද සැමියාට මෙන්ම බිරියටත් දික්කසාදයේ දී එක හා සමාන අයිතියක් තිබීමේ වැදගත් කම ඉස්ලාමය තුළ පැහැදිලිව සඳහන් වේ.

විවාහ ගිවිසුමෙන් වටහා ගන්නා ආකාරයට නඩත්තුව නොසපයන , පහසුකම් ලබා නොදෙන , හෝ ඒවා ලබා ගැනීමට බාධා ඇති කරන එසේ නොවේ නම් පවුල් ජීවිතයේ දී නොගැලපුම පවතින විටකදි ඉස්ලාම් දික් කසාද නීතියේ පිහිට පැතීමට ස්ත්‍රීයට පිළිවන.

තව ද සැමියා විසින් සිය බිරියගේ චරිතය, අවංක කම, පිරිසුදු කම, සතුටු කිරීමේ හැකියාව ආදීන් පිළිබඳව ඇය වෙත චෝදනා එල්ල කරනු ලැබු විට විනිශ්චයකරු ඉදිරියේ දී මෙම චෝදනා ඔප්පු කර දැක් වීමට නොහැකි වුවහොත් ඕ නිදහස් කරන ලෙස නියම කිරීමට විනිසුරුවරයාට පිළිවන.

සාධාරණ හේතූ®න් මත විවාහ ජීවිතයෙන් අනන්තයටම කළ කිරෙන බිරියක් දායාද වශයෙන් සැමියා විසින් ලබා දෙන ලද ධනයෙන් ප්‍රමාණවත් කොටසක් යළි ඔහුට ලබා දීමෙන් ද, දික්කසාදයෙන් පසුව මුල් මාස කීපය තුªªළ ගෙවිය යුතු නඩත්තුවලින් ඔහු නිදහස්කොට ද දික්කසාදය ලබාගත හැකිය.

එමෙන්ම සැමියා ආගියඅතක් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වූ මොහොතක හෝ ඇය හැර දමා පලා ගිය මොහොතක (සොයා ගැනීමට නොහැකි විටකදී) සිය ජීවිකාව ගෙන යාමට බිරියට නොහැකි වනවිට දික් කසාදය ඉල්ලා සිටීමට ඇයට හැකිය.

විවාහයේ දී ස්ත්‍රීයකට ලැබෙන වටිනාකම, ගරුත්වය ඒ ආකාරයෙන්ම දික් කසාදය තුළදීත් ආරක්ෂා කරදීම ඉස්ලාමයේ දක්නට ලැබෙන ඉතා වැදගත් ලක්ෂණයකි.

බහු විවාහ සංකල්පයේ දී ඉස්ලාමය තුළ සැමියා සම්බන්ධව ඉතා පක්ෂපාතිව කරුණු දක්වා ඇතැයි යන මතය ඉස්ලාමීය දික්කසාද නීතිරීති වලදි බිඳ වැටෙන බව මින් පැහැදිලි කර ගැනීමට ඕනෑම අයෙකුට හැකිය.

දික්කසාදය හා ඉස්ලාම් නීතිය



ආගමානුකූලව ස්වභාවික නීතිරීතිවලට පටහැනි වුවද මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ දික්කසාදය වනාහී ජීවිත කාලය පුරාවටම සහයෝගයෙන් සහ එකමුතුවෙන් ජීවත්වීමට සැමියා සහ බිරිය ඇතිකරගත් ආදරණීය ගිවිසුම උල්ලංඝනය කිරීමකි. ස්වභාවික පැවැත්මෙන් හා එහි අවශ්‍යතාවලින් සමාජය ඈත් කරනු ලබන්නේ පවුල් කඩා බිඳ වැටෙන දික්කසාදය නමැති සංකල්පය තුළිනි.

පවුලක් කඩාකප්පල්වීම නිසා, එහි උණුසුම හා සෙනෙහස විඳිමින් ජීවත් වූ සැමියා සහ බිරිය පමණක් නොව දූ දරුවන් ද පීඩාවට පත්වෙති. තම පවුල තුළින් පමණක්ම ලැබෙන එකී සෙනෙහස අහිමිවීමෙන් අධ්‍යාත්මික මානසික හා සදාචාරාත්මක පරිහානිවලට හා විෂමතාවන්ට මුහුණදීමට එම පවුලේ සියලු සාමාජිකයන්ට සිදුවෙති.

මේ හේතූන් නිසා භයානක උමතුවක් හෝ අපරාධයක් වැනි නොවැළැක්විය හැකි හේතු මත මිස දික්කසාදය ලබාගැනීමේ ඉඩකඩ කිසිවකුට විවෘත නොකළ යුතු බවට සමාජ, නීති සහ මනෝ විද්‍යාඥයෝ අදහස් පළ කරති.

යුග දිවියක් ගත කරමින් සිටින දෙපළක් අතර ඇතිවූ අයහපත් සම්බන්ධතාව නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කුමක් කළ යුතුද? ඊට එකම මග දික්කසාදයද?

දික්කසාදයට ඉඩ නැත යනුවෙන් ක්‍රිස්තියානි ආගම තුළ ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැකි තරමට පවුල් ජීවිතය බිඳ වැටෙන විට ඒ පිළිබඳව යථාර්ථවාදීව දකින ඉස්ලාමය විකල්ප මාර්ගයකට ඉඩකඩ සලසයි.

එමෙන්ම එම විකල්පය වැරදි ආකාරයට යොදවනු ලැබීම වළක්වනු පිණිස දැඩි නීතිරීති සම්ප්‍රදායක් ද හඳුන්වා දෙනු ලැබේ. සම්බන්ධතා බිඳ වැටීමෙන් පසුව නැවතත් බල කිරීමකින් ඔවුන් දෙපල විවාහ බන්ධනය තුළ රඳවා තැබීම විසඳුමක් නොවේ. ඉන් තත්ත්වය තවත් අහිතකර වනු ඇත.

නමුත් දෙවියන් වහන්සේ අනුමත කළ දේ අතරින් උන් වහන්සේ පි‍්‍රය නොකරන්නේ දික්කසාදය යි යන්න සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාමයේ ද දක්නට ලැබෙන වැදගත් පණිවිඩයකි.

එය අයහපත් විසඳුම් අතරින් එකක් තෝරා ගැනීමක් වැනිය. දික්කසාදය හැකි තරම් වළක්වාලමින් විවාහ බන්ධනය තහවුරු කරලීම සඳහා ඉස්ලාමය කටයුතු යොදා තිබේ.

දික්කසාදය සඳහා ඉදිරිපත් වීමට පිරිමින්ට ලැබෙන අවස්ථා සුලභය. එහෙත් ස්ත්‍රීන්ට ලැබෙන්නේ සීමිත අවස්ථාවක් පමණි. ඊට හේතු ද නැත්තේ නොවේ. දික්කසාදයේ දී පිරිමියා විසින් ගැහැණියට ලබාදුන් දෑවැද්ද අහිමි කර ගන්නේය. දරුවන් හදාවඩා ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය හා ආර්ථික පහසුකම් ලබා දීමෙන් බැහැරවීමට ඔහුට නොහැකිය.

විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාමය ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙයි.

“පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් පි‍්‍රය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”

(ශු. කුර්ආන් 4:19)

කරුණාව දයාව මෙන්ම සාධාරණය සහිත පවුලක් නඩත්තු කිරීම හා සිය බිරිය සමඟ දිවි ගෙවන ලෙස ඉස්ලාමය අණ කරන අතර, ඇතැම්විට අමනාපයක් සිදුවුවහොත් එය මුල්කරගෙන දික්කසාදයට නොඑළඹෙන ලෙස ඔහුට අවවාද කරයි.

“සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.

(අල්-කුර්ආන් 4: 18)

දික්කසාදයක් සඳහා ඉදිරිපත්වීමට පුරුෂයන්ට අවස්ථාවන් බහුලව තිබුන ද හිතුමතේට කටයුතු කිරීමට හෝ බිරියට හිරිහැර කිරීමට හෝ ඇය නිවසින් පිටමං කිරීමට හෝ කරදර වලට යොමු කිරීමට හෝ ඔහුට අයිතියක් නැත.

පවුල් ජීවිතයේ අත්විය හැකි ගැටලු හා අනවබෝධය තුරන් කර සාමකාමී හා ස්ථිර තත්ත්වයට නැවත ගොඩනැංවීම සඳහා සැමියාගෙත්, බිරියගේත් සමීපතම ඥාතීන් සහභාගී කර ගැනීම පිළිබඳව ද ඉස්ලාමය සඳහන් කර ඇත. මෙමගින් දෙපලගේම ආත්ම ගරුත්වය හා පුද්ගලිකත්වය ආරක්‍ෂා වන අතර දෙදෙනා දික්කසාදයෙන් මුදා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයක් සමීපතමයන්ට තිබෙන නිසා දික්කසාදයට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ.

නමුත් අපහසුතා මධ්‍යයේ අපි‍්‍රයජනක වූ විවාහ ජීවිතයකට සදාකල් කොටු නොවී බිරියගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට ප්‍රායෝගික විසඳුම් ගණනාවක් ද ඉස්ලාම ඉදිරිපත් කරයි. ඒ අනුව පහත දැක්වෙන ඕනෑම කරුණක් ඇතුළත් කර ගැනීමට බිරියකට අයිතිය තිබේ.

අ. භාවමය නොගැළපුම
ආ. නඩත්තු නොසැපයීම
ඇ. අඩන්තේට්ටම්
ඈ. අනිසි ගමන් බිමන්
ඉ. සිය එකඟතාව නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.

මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.

ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය.

මුහම්මද් නබිතුමාගේ ජීවන සටහන්




මුහම්මද් නබි තුමාණෝ ගමන් කරන්නේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි වූහ.

කතා කළේ සෙමිනි. සෑම වදනක්ම උච්චාරණය කළේ ශ්‍රාවකයන්ට එය මනා ලෙස සිහිතබා ගැනීමට ඉවහල් විය හැකි පරිද්දෙනි.

මුහම්මද් නබි තුමාගේ කතා විලාශය ඉතා කන්කළු විය. අරාබි බසද ඒ සඳහා ඉතා උචිත විය. එතුමා ඒ භාෂාව ගැන පැහැදී සිටියහ. එහි පැහැදිලි බව අලංකාරය හා තේරුම් ගත හැකි ස්වභාවය නිසා එතුමාගේ වාග් විලාශය ඉතා උසස් විය. කෙටි ප්‍රකාශන වූ කලී එහි වූ විශිෂ්ඨාංගයයි. මේ නිසා එතුමාගේ කෙටි වදන් තුළ පවා විශාල අරුතක් ගැබ් විය.

යන එන මග තොටේදී මුණ ගැසෙන සියල්ලන් සතුටින් පිළිගැනීම එතුමාගේ සිරිත විය. මුණ ගැසෙන අයට සලාම් (සෙත හා සාමය) ප්‍රාර්ථනය කිරීමට එතුමා පළමුව ඉදිරිපත් වූහ.

යම් කිසිවෙකුට පණිවිඩයක් යවන විටදී ඒ සමග තම සුබ පැතුම් ද යැවූහ. යම් කිසිවෙකු එතුමන්ට පණිවිඩයක් ගෙනා කළ පණිවිඩය ගෙනා හා යැවූ දෙදෙනාටම සලාම් ප්‍රාර්ථනය කළහ.

වරෙක එතුමාණෝ ළමුන් පිරිසක් සිටි තැනක් පසු කොට යන විට ඔවුන්ටද සලාම් ප්‍රාර්ථනය කළහ. කාන්තාවන් සිටි තැනක් පසු කොට යන විටත් එලෙස සලාම් ප්‍රාර්ථනය කළහ.

අමුත්තන් තම නිවසට පැමිණෙන විටත් පෙරළා යන විටත් සාදරයෙන් පිළිගත්හ. සමුදුන්හ. මිතුරන් පැමිණෙන විට අතට අත දෙමින් වැළඳ ගත්හ. ඇතැම් විට ඔවුන්ගේ නළල් තල සිප ගත්හ. අතට අත දෙන විට අනෙකා අත ඉවත් කර ගන්නා තුරු එතුමා තම අත ඉවත් නොකළහ.

සභාවන් හී දි එතුමා පසෙක වූ අසුනක හිඳ ගත්හ. කිසිදාක අනුන් පරයමින් ඉදිරි පෙළ කරා ගමන් නොකළහ. ‘අල්ලාහ්ගේ සේවකයකු හිඳගත යුතු ආකාරයට මම හිඳ ගතිමි’ යි පැවසුහ.

තමන්ට කරන ගරුසරුවක් වශයෙන් සෙස්සන් තමන් හමුවේ සිට ගන්නවාට හෝ තමන් දුටු වහා අසුනින් නැගී සිට ගැනීමට එතුමා ඉඩ නොතැබූහ.

කිසිවකු තම නිවසට පැමිණි කළ ඔහුට වාඩිවීම සඳහා එතුමාම කලාලය එලූහ. ආගන්තුකයා කැමැත්තෙන් පිටව යන තුරු ඉවසා සිටියහ.

පිළිසඳර වලදී අනවශ්‍ය කතාවන්ට ඉඩ නොදුන්හ. තම හිතවත් අනුගාමිකයන් සමඟ ඉතා සුහදව කතා කළහ. පූර්ව ඉස්ලාම් අවදිය ගැන කතාවන් කෙරෙන විට එතුමාද සිනහ වූහ. කුර්ආන් පාඨ කියවා ඒ ගැන විමර්ශනය කළහ. අසා සිටින්නන්ගේ මුහුණුවල ප්‍රිය නැති බව හෝ අලස බව හැඟවෙන කල වහාම මාතෘකාව වෙනස් කළහ.

තමන් හා සිටින සියල්ලන්ටම එක හා සමාන ලෙස සැලකූහ. යම් කිසිවෙකුට විශේෂත්වයක් හෝ වෙනසක් සිදු වූ බවට චෝදනා එල්ල නොවීමට වග බලා ගත්හ. සංවාදයේදී යම් කිසිවෙකු අනුචිත මාතෘකාවක් හෝ කතාවක් ඉදිරිපත් කළ විට ඒ ගැන නොසළකා දිගටම කතා කළහ. කතාව අවසානයේදී ඔහු ගැන අවධානය යොමු කළහ.

සෙස්සන් තමන් හා පිළිසඳරෙහි යෙදී සිටින විට ඔවුන් ඉවත බැලූ කල්හි විනා එතුමා ඉවත නොබැලූහ. තමන්ට රුචි නොවූ කතාවන් කෙරෙන විට සාමාන්‍ය ඉරියව් වලින් ප්‍රතික්‍ෂේප කළහ.

තමන් විසින් අප්‍රිය කරනු ලැබුවන්ගේ් අදහස් වලටද මදහසින් යුතුව සවන් දුන්හ. වරෙක එතුමා හමුවට පැමිණි අයෙකු අසල සිටියවුන්ට පහත් ලෙස කතා කළේය. එහෙත් එතුමා සමඟ සුහදව කතා කළහ.

මෙය දුටු හස්රත් ආයිෂා (රලි) තුමිය විමතියට පත් වූ කළ ‘අල්ලාහ්ගේ නාමයෙන් පහත්කම නිසා කෙනෙකු අනෙක් අය විසින් කොන් කරන්නේද යුක්තිය විනිශ්චය කෙරෙන දිනයේ ඔහුට පහත් ස්ථානයක්ම හිමිවේ’ ය එතුමා පැවසූහ.


මචං, ඉස්ලාම් ආගමට ගියාම ගෑණු 7 දෙනෙක් බැඳගත හැකි බං ??



යම් කි්‍රයාවක් ගත් කල, එහි හොඳ හා නරක යන දෙපැත්තක් දැකිය හැක්කාක් සේම එම කි්‍රයාව සිදු කළ විට හොඳ හෝ නරක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. ඉහත සිද්ධාන්තය අප ජීවිතයේ බොහෝ කාරණාවන්ට වලංගු වේ. එමෙන්ම, අයහපත් ප්‍රතිඵලම ගෙන දෙන කි්‍රයාවන් ද, යහපත් ප්‍රතිඵල පමණක්ම ගෙන දෙන කි්‍රයාවන් ද, ඇති බව අපි දනිමු.


යහපත් ප්‍රතිඵල ගෙන දෙන කි්‍රයාවන් අනුමත කිරීමත් (හලාල්), අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කි්‍රයාවන් තහනම් කිරීමත් (හරාම්), හොඳ ප්‍රතිඵලයක් හෝ නරක ප්‍රතිඵලයක් ලැබිය හැකි කි්‍රයාවන්වලින් හොඳ ප්‍රතිඵලය පමණක් ලැඛෙන පරිදි කි්‍රයාවන් හා චේතනාවන් සැලසුම් කිරීමට ඉගැන්වීමට ඉස්ලාමය මගින් සිදු කරයි.

මිනිසාව මවා ඔහුට අවශ්‍ය දෑ මෙලොවේ ස්ථාපිත කළ අල්ලාහ්, මිනිසාගේ හොඳ නරක හා අවශ්‍යතා හඳුනනවා පමණක් නොව, මිනිසාට ඔහු අසීමිත ලෙස ආදරයත්, කරුණාවත්, අනුකම්පාවත් දක්වන්නේය. එය තහවුරු කරමිනුයි. අතීතයේ ඉබ්රාහීම් (අෙලෙ) තුමාව නුම්රූද් රජු ගින්නට දැමු විට නොපිළිස්සී ඔහු ආරක්ෂා කළේ ද, ඉස්මායිල් (අෙලෙ) තුමාගේ මව පිපාසයෙන් පානීය ජලය සොයා සෆා මර්වා කඳු අතර මාරුවෙන් මාරුවට දුවන විට බිම හඩා  වැළපෙමින් සිටි ඉස්මායිල් (අෙලෙ) තුමාගේ පතුල යටින් ජල උල්පතක් මතු කළේ (අද දිනයේ මක්කාවෙහි පිහිටි සම් සම් ළිඳ), මධ්‍යධරණී මුහුද දෙබෑ කොට මූසා (අෙලෙ) තුමා ඇතුළු පිරිස ෆිර්අව්න්ගෙන් බේරා ගත්තේ ද, වර්තමානයේ ලොව පුරා විරෝධතා ඉස්ලාමයට තිබුණත් උගතුන් බොහෝ පිරිසක් ඉස්ලාමය වැළඳ ගනිමින්, එ අනුව කි්‍රයාකාරමින් සත්‍ය වෙත ඇදී එන්නේ ද, අල්හම්දුලිල්ලාහ්.

මෙතෙක් මා ඔබ හා සාකච්ඡා කරමින් පැමිණියේ අන්‍යාගමික සහෝදර සහෝදරියන්ගේ කාලීන ගැටළු වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාගේ බහු භාර්‍යා විවාහය පිළිබඳව සත්‍යය වෙත ඔබ සැම රැගෙන යාමටය

—මචං, ඉස්ලාම් ආගමට ගියාම ගෑණු 7 දෙනෙක් බැඳගත හැකි බං...˜ —මමත් මේ යන්න කියලයි බැලූවේ...˜

පාසල් සිසුන්ගෙන් සිට වැඩිහිටියන් පවා විහිළු බස් පැවසීමක් ලෙස ඉහත වාක්‍ය භාවිතා කිරීම නොයෙක් වර දැක ඇත්තෙමි. මම අහන්න කැමති, ඔබේ ආගම්වල අන්තඃ පුර නඩත්තු කළ ඈයන් අතීතයේත්, වර්තමානයේත් නැත්ද? සමාජයට වෙනම, සැපට වෙනම ස්තී්‍රන්ගෙන් යුත් පිරිමි ඔබේ සමාජයේ නැතිද? හිත ඇත්නම් පත කුඩා ද?

සොයුරනි..

බහු භාර්‍යා විවාහය යහපත මෙන්ම, අයහපත සඳහා ද භාවිතා කළ හැකිය. සියලූ යහපත, අයහපත, දුක, සතුට, මිනිසාටයි. නමුත්, එසේ මිනිසා කෙසේ හෝ ජීවත්වීමට ඉස්ලාමය ඉඩ නොදේ. උපතේ සිට මරණය දක්වා ඉස්ලාම් භක්තිකයෙකුගේ සෑම කි්‍රයාවක්ම (කතා කිරීම, ස්පර්ශ කිරීම, සවන් දීම, ආඝ්‍රාන, දෘෂ්ඨිය, කි්‍රයාවන්, චේතනාවන්, ඇඳුම් පැළඳුම්, ආභරණ පැළදීම, ප්‍රතිචාර දැක්වීම්) ඉස්ලාමයෙන් පෙන්වා දෙන රාමුවක් තුළ තිබිය යුතුය. මේ සෑම දෙයකම ඉස්ලාමයේ වචනයෙන් වචනය පවසා ඇත. අල්ලාහ්, මෙසේ අපට මග පෙන්වන්නේ ශුද්ධ වු කුර්ආන් හා නබි තුමා මගින් ය. ඔහු ජීවත් වූයේ ඉස්ලාමීය ජීවන සැලැස්ම ඔස්සේ ය. එමෙන් ම බහු භාර්‍යා විවාහය, ඉස්ලාමීය ජීවන සැලැස්මේදී යහපත සඳහා පමණක් යොදා ගන්නා ක්‍රමයක් පෙන්වා දෙයි. එහිදී පහත නීතීන් පිළිපැදීම අනිවාර්යවේ.


  •  පළමු බිරිඳගේ අනුමැතිය
  •  සියලූ බිරින්දෑවරුන්ට සමානව සැලකීම
  •  එම කාන්තාවන්ගේ පූර්ණ කැමැත්ත
  •  මුස්ලිම් අයෙකු විවාහ විය හැක්කේ 4 දෙනෙක් පමණි. 


ඉහත කරුණු පිළිපැදිය නොහැකි නම් බහු භාර්යා විවාහ ඔහුට තහනම් වේ.
අහන්නත් දුකයි සොයුර සොයුරියනි, අපගේ උතුම් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණන් පිළිබඳව පූර්ණ හැදෑරීමකින් තොරව ඔහු ස්තී්‍ර ලෝලියෙකු බව පැවසීම. අස්තඃෆිරුල්ලාහ්, කොතරම් ද්වේශ සහගතද?

ඔහු විවාහ වුණේ ස්තී්‍ර ලෝලියෙකු නිසා නොව, සමාජයේ තිබුණු මිත්‍යා විශ්වාස හා වැරදි, නිවැරදි කිරීමේ උදාර පරමාර්ථයෙනුයි. තර්ක කිරීමටම මුල් තැන දෙන ඔබේ බුද්ධිය තර්ක කරයි. එ සඳහා විවාහ විය යුතු ද? කියා, ඔබ සිද්ධාන්තමය බවින් මිදී ප්‍රායෝගිකව සිතුවහොත් ඔබට වැටහේවී මෙහි සත්‍යතාව.
නබිතුමා විවාහ මගින් සිදු කළේ අසරණ වැන්දඹු කාන්තාවන් හට නව ජීවිතයක් හා ආරක්ෂාව සැපයීම, වහල් කාන්තාවන් විවාහ කිරීම මගින් මිනිසුන්ගේම කොටසක් වහලූන් සේ සැලකීම හෙළා දැකීම, කාන්තා පාර්ශ්වයට ඉස්ලාමයේ සිද්ධාන්ත ඉගැන්වීම, අල්ලාහ්තආලාගෙන් ලැබුණු නියෝග¦ මේවා තමයි ඔහුගේ විවාහයන්ට හේතු වුණේ.

කාන්තාව වහළියක් සේ සලකනු ලැබු එදා සමාජය බිඳ හෙළුවේ ඉස්ලාමයයි. සියලූ දුක් වේදනා ඉවසා දරා අපට නිවැරදි මාර්ගය පෙන්වා දුන්, අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනා කළ, ඔහුව විවේචනය කිරීම ගුණමකුකම නොවේ ද?

එතුමා වැන්දඹුවන්ට ජීවිතය ලබාදීම කාන්තා ලෝලියෙකු නීත්‍යානුකූලවම විවාහ 11ම සිදු කිරීම අවශ්‍යද? එක් කාන්තාවක් හෝ දෙදෙනෙකුව විවාහ කර අනෙක් ස්තී්‍රන්ව නීත්‍යානුකූල නොවන සේ තබා ගන්නට තිබුණි. නමුත්, ඔහු එසේ කළා ද? නැත. ලෝක ප්‍රකට විද්වතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් හට නීත්‍යානුකූල බිරින්දෑවරු දෙදෙනෙකුත්, නිත්‍යානුකූල නොවන බිරින්දෑවරු දෙදෙනෙකුත් සිටියේ යැයි ඔහු පිළිබඳව සඳහන් කර, උගතුන් පවසති. ඉතිහාසයේ මෙවැනි උදාහරණ ඕනෑතරම් ඇත.

—ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්˜ චිත්‍රපටයේ නිර්මාතෘ හා අදාල පිරිස කුමන ආකාරයේ දැනීමකින් හෝ බුද්ධියකින් එම චිත්‍රපටය නිෂ්පාදනය කළා ද? ගැටළුවක් ඕනෑම කෙනෙකුට මතුවේ. පළමුව අවධානය යොමු කළ යුත්තේ චිත්‍රපටය පිළිබඳව නොව, ඔවුන් මන්ද බුද්ධිකද, මෝඩද යන්නයි.
දිනෙන් දින ඇඳුම් මාරු කරන්නා සේ කාන්තාවන් මාරු කරන සංස්කෘතියක් නිර්මාණය කරගෙන ඇති රටක සිටින එකී සුදනන් කිසිවක් හරිහැටි නොදැන චිත්‍රපට, පොත්පත් රචනා කිරීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් බව බොහෝ කෙටි කාලයකදී ඔවුනට වැටහෙනු ඇත.

ඔබ මුහම්මද් නබිතුමාව හෝ ඔහු ගෙන ආ අල්ලාහ්ගේ ධර්මය විවේචනය කිරීමට මත්තෙන් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ දිනකට විනාඩි 10ක් එ පිළිබඳව අධ්‍යයනය කරන ලෙසයි.

අති උත්තමයාණන් වන අප සැමගේ දෘෂ්ඨියේ සංකේතය වන මුහම්මද් නබිතුමාව මෙලොවට අල්ලාහ් විසින් එවනු ලැබුවේ ස්වර්ගය නිරය තීරණය වන ජීවිතය නැමැති විභාගය (මෙය උපමාවක් නොව සත්‍යයි) සාර්ථකව සමවත් වන ආකාරය අපහට ඉගැන්වීමටයි. එ සඳහා ඔහුගේ කාලය, ශ්‍රමය, ජීවිතය වැය කළේය. අල්ලාහ්, ඔහුට, ඔහුගේ ඉගන්වීමේ කි්‍රයාවලිය සාර්ථකව නිම කිරීමට උපකාර කළේය. ඔහු පෙන්වා දුන් මාර්ගය ඔස්සේම යාම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය දෙයකි. එම යහමාර්ගය ඔස්සේ ගමන් කර විනිශ් චය දිනයේත් ස්වර්ගයේත් අපගේ උත්තමයාණන් සමග එක්ව සිටීමේ භාග්‍යය උදා කරගැනීමට සැමටම හැකිවේවා.

ඉන්ෂාඅල්ලාහ්

අපට මොනවද ලැබුනේ ?

ලොකයේ සියළු දෙනාටම සියලූ දේ ලැඛෙන්නේ නැත. යමක් නොලැඛෙන්නේ ද නැත. එත් නොලැඛෙන දේ ගැන මැසිවිලි නගන බොහෝ දෙනෙක් ලැඛෙන දේ අමතක කරති. මෙය තරමක් එයට වෙනස් කතාවකි.


ආතර් අෂේ ගැන ඔබ දන්නවා ද? විම්බිල්ටන් ටෙනිස් පිටියේ ඓතිහාසික පුරුෂයෙක් වශයෙන් නම රැන්දූ කී්‍රඩකයෙක්. 1983 වර්ෂයේ හෘදාබාධයට ලක්වු ඔහු ශල්‍යකර්මයකට භාජනය විය. එහිදී ලේ ලබා ගැනීමේදී ඇති වු ප්‍රමාද දෝෂයකින් එච්.අයි.වී ආසාදනයට ගොදුරු වුනේය. ලොව පුරා වෙසෙන ඔහුගේ රසිකයින්ගෙන් අනුගාමිකයින්ගෙන් දිනපතා ඔහුගේ සුවය පතා ලිපි ලැඛෙන්නට විය. එහිදී වැඩියෙන්ම සඳහන් වු අදහසනක් මෙසේය.
"දෙවියන් මෙතරම් දරුණු රෝගයකට ඇයි ඔයාව තෝරාගත්තේ" මෙසේ විමසන අයට ආතර් අෂෙ දුන් පිළිතුර මෙසේ විය.

"මේ ලෝකයේ කෝටිපහක් පමණ දෙනෙක් ටෙනිස් කී්‍රඩාව ආරම්භ කරනවා. එයින් ලක්ෂ 50ක් ටෙනිස් කි්‍රඩාව ඉගෙන ගන්නවා. එයින් ලක්ෂ පහක් වෘතීය ටෙනිස් කී්‍රඩයකයින් වෙනවා. එයින් 50000 'සර්කිට්' නැමති වෘතීය මට්ටමේ වාර්ෂික තරඟවලට සහභාගි වෙනවා. ඔවුන්ගේ 5000 ක් ග්‍රාන්ස්ලාම් නැමති ජයග්‍රාහී තත්ත්වයට පැමිණෙනවා. ඔවුන්ගෙනුත් පනස් දෙනෙක් පමණයි වේම්බිල්ටන් තරඟවලට සහභාගි වීමේ සුදුසුකම ලඛෙන්නේ. එයින් හතර දෙනෙකු පමණයි අර්ධ අවසාන පූර්ව තරඟ දක්වා ඉදිරියට යන්නේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණයි. අවසාන තරඟයට මුහුණ දෙන්නේ. එයිනුත් විම්බිල්ටන් පදක්කම දිනු අවස්ථාවේ මෙතරම් උසස් ජයග්‍රහනයකට දෙවියන් ඇයි මාව තෝරාගත්තේ කියා මම ඇසුවේ නෑනේ" යන්නයි.

පරිසරයට සංවේදී වීම- ඉස්ලාමය දෑසින්



ජාත්‍යන්තර ජල දිනය යෙදී ඇත්තේ මාර්තු මාසයේය. පරිසරය සුරැකීම, ජලය ආරක‍ෂා කිරීම වැනි තේමා අපට කියා දෙන පාඩම් කුමක්ද. ජනගහනය වැඩිවෙත්ම ආහාර නිෂ්පාදනය වැඩි වේ. ඒ සඳහා විශාල වශයෙන් ජලය සැපයීම අවශ්‍යවේ. එදිනෙදා මිනිස් ජීවිතයේදී ජලය අත්‍යාවශ්‍යම කාරණයකි. උද්‍යාන සේවා, පිහිණුම් තටාක, ජල කී්‍රඩා වැනි මිනිස් සේවාවන්ට ද ජලය වැඩිවැඩියෙන් උවමනා වේ. වාහන සේදීම, වාහන නිශ්පාදනය හා අනෙකුත් කාර්මික නිෂ්පාදන සඳහාද විශාල වශයෙන් ජලය වැයවේ. ලෝක ජල දිනය වැනි අවස්ථාවක ජලයෙහි අවශ්‍යතාව පමණක් නොව අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම වැදගත් මෙහෙවරකි.

—ඔබ ගඟ අද්දරක ජීවත් වූවත් ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්න˜ යැයි නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා පැවසුවේය. ජලය අපිරිසිදු කිරීම, ජලය ලැබීම අවහිර කිරීම, ජලය තහනම් කිරීම විශාල පාපයක් ලෙසද එතුමා අවධාරණය කළේය. 

ගී්‍රක, රෝම ශිෂ්ථාචාරයේ පඬිවරුන් දියනෑම සෙඛ්‍යයට අහිතකර බව උපදෙස් ලබාදුන් කාලවකවානුවේ මුස්ලිම් ලෝකයේ ශිෂ්ට ජනයින් පිහිණුම් තටාකවල තරඟ පැවත්වූහ. මෙහි ඇති පණිවුඩය නම්, ජලය පිරිමැසීම යනු, ජලයෙන් තොර ජීවිතයක් ගෙන යාම නොවේ. පරිසර හිතකාමීව ජීවත්වීම යන්නයි.

නබිනායක තුමා පරිසරයට කොතරම් සංවේදී වුවාදැයි අවබෝධ කරගැනීමට පහත සඳහන් එතුමාගේ හදීසය පමණක් ප්‍රමාණවත්ය. 

—ඔබට මරණය පැමිණෙන මොහොතේ ඔබ අතේ පැලයක් තිබුණේ නම් එය වහාම සිටුවන්න.˜
 පැලයක් සිටූවීම, ගසක් රෝපනය කිරීම හුදෙක් තමාගේ ප්‍රයෝජනය සඳහා වූවක් නොවේ. අප වර්තමානයේ භාවිතා කරන දැව හා ඛෙහෙත් හේත් අප ලබාගත්තේ මුතුන් මිත්තන් ඒවා රෝපනය කළ නිසාය. එසේනම් අප කළ යුත්තේ ද එවැනි දෙයක්ය. මතු පරපුරේ සුභසිද්ධිය වෙනුවෙන් අපත් පැල සිටුවිය යුතුය. ගසක් රෝපනය කළ යුතුය. හෙට ජීවත් වෙන අපගේ පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා සුදුසු පරිසරයක් ඔවුනට දායාද කළ යුතුය. එසේ නොමැති කොට ජාත්‍යන්තර ජල දිනය සැමරීමේ කිසිම අර්ථයක් නොමැත.

මේ මහපොළොවේ සතා, සර්පයා, ගස් කොලන්, උල්පත්, ඇල දොල, ගංගා ආදී සියල්ල අල්ලාහ් අපට දායාද කළ දේවල්ය. එය පරිහරණය කර අපගේ ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා අපට අයිතියක් අවකාශයක් ඇත. එහෙත්, ඒවා විනාශ කිරීමේ අයිතියක් අපට නොමැත. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් කෘෂිකර්මාන්තයට පමණක් නොව බීමට පවා ජලය නොමැති කමින් පීඩා විඳින ආකාරය මාධ්‍යවලින් දැනගත හැකිය. ඒ අතින් තවමත් වාසනාවන්ත තත්ත්වයක සිටින ශී්‍ර ලාංකිකයින් වන අප, ජල සම්පත විනාශ නොවී ආරක‍ෂා කරගැනීමට කටයුතු නොකළේ නම් අපටත් සිදුවන්නේ එවැනි භයානක විපාකයට මුහුණ පෑමටය.


ශෛතාන්ගෙන් ආරක‍ෂා වීම


ශෛතාන්ගෙගේ විනෝදාංශය වනුයේ මිනිසුන් නොමග යැවීමයි. මිනිසුන්ගේ වගකීම වනුයේශෛතාන්ගේ කි්‍රයාවලින් (පවිවලින්) වැළකී අල්ලාහ් දෙවිඳුන් නැමදීමයි.

—අල්ලාහ් දෙවිඳුන් හැර නැමදීමට සුදුස්සෙක් නොමැත. මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා) ඔහුගේ දූතයාය.˜ (කලිමා ෂහාදත්)

ඉහත පාඨය පිළිපදින මුස්ලිම්වරුන් වන අපහට අල්ලාහ් විසින් අගනා ජීවිතයක් ලබාදී ඇත. නමුත් අපගේ මෙම ජීවිතය සථීර එකක් නොවේ. එය තාවකාලිකය. මෙලොව සැප සම්පත්ද ස්ථීර නොවේ. මිනිසා තම නිවසින් බැහැරව වෙනත් ස්ථානයක රැඳී සිට නැවත මෙම ස්ථීර නිවසට පැමිණේ, මෙය උදාහරණයකි. එනම්, තාවකාලික ස්ථානය මිනිසාගේ මෙලෝ ජීවිතයය, ස්ථීර නිවාස අපගේ එලොව (ස්වර්ගය, අපාය) ජීවිතයයි.
ඉහත සඳහන් ස්වර්ගය හෝ අපාය තම තමන්ගේ කි්‍රයාවන් අනුව ඔවුනට පිරිනැමේ. වර්තමාන සමාජය දෙස බැලූවිට, සිදුවෙමින් පවතින කි්‍රයාවන් අනුව මිනිසාගේ මනසට මෙම කරුණුු පිළිබඳව බලපෑමක් ඇතිවී නොමැති බව පෙනී යයි. විද්‍යාවේ දැනුම පසුපස හඹායන මිනිසාගෙන් තම ආගමික දැනුම ගිලිහී ගොස් ඇත.

මෙවන් සමාජයක සත්‍යදහම අවබෝධ කර ගනිමින් සැබෑ මුස්ලිම්වරයෙකු වීම අප කාගෙත් වගකීමවේ.
ශෛතාන්ගෙන් පෙළඹවීමෙන් මිනිසා වරදට හසුවන බව නම් සැබෑවකි. නමුත්, එය වැරදි බව වටහාගෙන එයින් වැළකී අල්ලාහ් දෙවිඳුන්ගෙන් සමාව අයැද, යලිත් එම වැරැද්ද සිදු නොවීමට වගබලා ගැනීම නියම මුස්ලිම්වරයෙකුගේ ගති ලක්ෂණයයි. අප සැමගේ බලාපොරොත්තුව වන ස්වර්ගය කරා යෑම සඳහා සෑම මුස්ලිම්වරයෙකුම අදිටන් කරගත යුතුය. උත්සාහ කළ යුතුය. අල්ලාහ්ගෙන් අයැදිය යුතුය.

මෙලොව තාවකාලික දේවල් අතහැර අල්ලාහ් දෙවිඳුන් ලබාදෙන ස්ථීර නිවස වන ස්වර්ගයට පිවිසීමේ භාග්‍යය සෑම දෙනාටම උදාවිය යුතුය.

රෆීකා - කොළඹ-05
 
සහාය: ප්‍රබෝදය | අල්-කුර්ආනය | ඉස්ලාමය
Copyright © 2011. Sinhala islam -ඉස්ලාමය සිංහලෙන් ඉගෙනිමු - සියලු හිමිකම් ඇවිරිණි.
වෙබ් නිර්මාණය සහිලාන් ලිපි පල කිරීම් Saheelan.net
Proudly powered by Blogger